Wednesday, July 4, 2012

ඔබේ පරිගණකයේ බල සැපයුම පරීක්ෂා කරන්නේ කොහොමද

පරිගණකයේ බල සැපයුම, එහෙමත් නැත්තන් Power Supply එක කියන්නේ පරිගණකයක තියෙන ඉතාම වැදගත් කොටසක්. මොකද ඉතින් කොතරම් පහසුකම් තියෙන පරිගණකයක උනත් මේ කියන බල සැපයුම නැතිව වැඩ කරන්න බැහැනේ. ඒ වගේම තමයි පරිගණකයේ බල සැපයුමේ මොකක් හෝ දෝශයක් ආවම කිසිම වැඩක් කරන්න බෑ වගේම පරිගණකයේ වෙනත් දෝශ තියෙනවද කියලත් හොයා ගන්න අමාරුයි. ඉතින් මම අද කියලා දෙන්න හිතුවේ මේ බල සැපයුම පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේ සඳහා මල්ටිමීටරයක්(Multimeter) භාවිතා කරනවා. පහල රූපයේ තියෙන විදියේ 4 Pin Jack බල සැපයුමේ තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ. ඒකෙන් තමයි අපි මේ වැඩේ කරන්නේ.

පහල රූපයේ තියෙන්නේ මල්ටිමීටරයක්.මේ මල්ටිමීටරයේ කලු පාට සහ රතු පාට සම්බන්ධක කූරු 2ක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒ වගේම බල සැපයුමේ 4 pin jack එකේ කලු පාට වයර් 2ක්, රතු පාට වයර් 1ක් සහ කහ පාට වයර් 1ක් තියෙනවා. සම්බන්ධක කූරු මල්ටිමීටරයට නිවැරදිව සම්බන්ධ කරලා මල්ටිමීටරය විභවය(Voltage) මනින විදියට හදා ගෙන කලු පාට සම්බන්ධක කූරක් 4 pin jack එකේ කලු පාට වයර් එකට අදාල තැනට සම්බන්ධ කරන්න. ඉන් පස්සේ රතු පාට සම්බන්ධක කූර 4 pin jack එකේ කහ පාට වයර් එකට අදාල තැනට සම්බන්ධ කරන්න. ඔබේ බල සැපයුම නිවැරදිව ක්‍රියා කරනවා නම් මල්ටිමීටරයේ අගය 12v විදියට පෙන්වන්න ඕනි. ඒ වගේම කලු පාට සම්බන්ධක කූර වෙනස් නොකර රතු පාට සම්බන්ධක කූර 4 pin jack එකේ රතු පාට වයර් එකට අදාල තැනට සම්බන්ධ කලාම මල්ටිමීටරයේ අගය 5v ලෙස පෙන්වනවා නම් ඔබේ බල සැපයුමේ ගැටලුවක් නැහැ. නමුත් ඔබේ මේ අගයන් වෙනස් නම් හෝ අගයන් පෙන්වන්නේ නැති නම් ඔබේ බල සැපයුම දෝශ සහිතයි.

Monday, June 4, 2012

ජාලකරණයේදී භාවිතා වන පද හඳුනා ගනිමු

ජාලකරණය එහෙමත් නැත්තන් Networking වලදි අපිට නිතරම මුණ ගැහෙන පද ටිකක් තමයි මම අද පැහැදිලි කරන්න හිතුවේ. නමුත් මේ පද වලට අදාල සිංහල පද නම් මට හොයාගන්න අමාරුයි. නමුත් මේවා තේරුම් කරන්න මම උත්සාහ කරන්නම්.

Network - පරිගණක ජාලයක් කියල හඳුන්වන්නේ එකිනෙකා අතර දත්ත හුවමාරු කළ හැකි වන පරිදි සම්බන්ධ කරන ලද පරිගණක හා අනෙකුත් උපාංග සමූහයක්.

Node - පරිගණක ජාලයකට සම්බන්ධ සක්‍රීය (Active) උපාංග Node ලෙස හඳුන්වනවා. පරිගණක පමණක් නොව Printer, Scanner ආදී උපාංගද Node ලෙස හැඳින්වෙනවා. මෙම Node වලට දත්ත ලබා ගැනීම (Receiving), දත්ත යැවීම (Sending) හා දත්ත ඉදිරියට යැවීමේ හැකියාව (Forwarding) පවතිනවා.

Segment - රවුටරයක් හෝ ස්විචයක් වැනි උපකරණයකින් ප්‍රධාන පරිගණක ජාලයට සම්බන්ධ වන කොටසක් Segment එකක් ලෙස හඳුන්වනවා.

Backbone - ඉහත සඳහන් කරන ලද සියලුම Segment එක් කරන ප්‍රධාන ජාලකරණ රැහැන් Backbone ලෙස හැඳින්වෙනවා. මෙය පරිගණක ජාලයක කොඳු නාරටිය වන අතර වැඩි ශක්‍යතාවයකින් හා වැඩි Bandwidth එකකින් යුතු වෙනවා.

Topology - මෙනමින් හැඳින්වෙන්නේ පරිගණක ජාලයකදී පරිගණක හා අනෙකුත් උපාංග භෞතිකව සම්බන්ධ වන ආකාරයයි. මේ සඳහා සම්මත ආකාර කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

Unicast - පරිගණක ජාලයක එක් Node එකක සිට දෙනු ලබන තවත් Node එකකට සම්ප්‍රේෂණය කරන දත්ත පැකැට්ටුවක් Unicast ලෙස හඳුන්වයි.
උදාහරණ : දුරකථන ඇමතුමක්

Multicast - පරිගණක ජාලයක එක් Node එකක සිට දෙනු ලබන තවත් Node කිහිපයකට සම්ප්‍රේෂණය කරන දත්ත පැකැට්ටුවක් Multicast ලෙස හඳුන්වයි.
උදාහරණ : walkie talkie යන්ත්‍ර මගින් සම්බන්ධ වීම

Broadcast - පරිගණක ජාලයක එක් Node එකක සිට එම ජාලයේ ඕනෑම අයෙකුට ලබා ගත හැකි වන පරිදි සම්ප්‍රේෂණය කරන දත්ත පැකැට්ටුවක් Broadcast ලෙස හඳුන්වයි.
උදාහරණ : රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා

Sunday, May 27, 2012

ඔබේ පරිගණකය ආරක්ෂිතදැයි Online පරීක්ෂා කර ගන්න

Bitdefender කියන්නේ ප්‍රතිවෛරස මෘදුකාංග නිපදවන සමාගම් අතර ඉදිරියෙන්ම ඉන්න සමාගමක්. ඉතින් මේ සමාගමෙන් අලුත් ක්‍රමයක් හදුන්වා දීලා තියෙනවා අපේ පරිගණකය වෛරස ආසාදනයකට ලක් වෙලාද නැද්ද දැන ගන්න. ඒ තමයි ඔවුන්ගේ සර්වරයක් හරහා online අපේ පරිගණකය පරීක්ෂා කිරීම. වැඩේ නම් හොඳයි වගේ. පොඩ්ඩක් ඔයාලත් පරිගණකය පරීක්ෂා කරගෙනම බලන්නකෝ. තවත් වැදගත් දෙයක්. මම මේ සේවාව Maxthon වෙබ් බ්‍රව්සරයෙන් පරීක්ෂා කරන්න යද්දි හරි ගියේ නෑ. ඊට පස්සේ ගිණි නරියා තමා මාව ගොඩ දැම්මේ. ඔයාලගේ පරිගණකයත් පරීක්ෂා කර ගන්නවා නම් මෙතනින් යන්න. මගෙ බ්ලොග් එකේ මම මේ සේවාවට ගැජට් එකකුත් දැම්මා මතු ප්‍රයෝජනය සඳහා. ඕනි නම් ඒක භාවිතා කරන්නත් පුලුවන්.

විල් තෙරක දිස්නය දෙන තරු එළිය නුඹ

අඳුරු තිමිර පට
ඉරා දමනට
උණුහුමක් නැති නුඹේ සෙනෙහස
විල් තෙරේ දිස්නෙ දුන් මුත්
තරුවක් සේම
මගෙන් බෝ දුර
ගොස් බව දැණුනි මසිතට
කැලඹෙනා විල් දියේ
තරුව දිලෙනා නමුදු
හැඩතලය සොයන්නට
වාරු නැත මගෙ සිතට
උණුහුමක් ලැබුනි නම්
නුඹේ ඔය පපු තුරුලේ
ජීවිතේ සැනසුමක්
මගෙන් බෝ දුර වේද
තරු එළිය මා ලඟයි
නුඹ මසිතේ තරු වගෙයි
තරුව බෝ දුර නමුත්
නුඹෙ සුවඳ උණුහුමයි

Wednesday, May 16, 2012

How to uninstall hidden installs in Windows XP

In windows xp there are some programs such as Internet Explorer, MSN messenger, Windows media player, etc… that we can’t uninstall using control panel, add or remove programs option. These are called as ‘hidden installs’. But there are some other ways to uninstall these programs. This doc is about to describe that options.

1st Method

Go to folder
C:\windows\inf
Look for the file
sysoc.inf
Open that file using notepad. Several lines have “,hide,”
Take out the “hide” leave the “,,”
(Simply use the find option and use keyword “,hide,” and replace with “,,” )
Go to control panel, add or remove programs and see what’s in there… ;)

2nd Method

This is the easy way. That’s why I kept it for last ;)
Go to control panel, add or remove programs. There are some buttons on the left side of the window. Click on the bottom button, add / remove windows components. Clear the check boxes and click next. See what happened to the programs after restart.. ;)

Sunday, May 13, 2012

RAT සමඟ දුරස්ථ පරිගණකයකට සම්බන්ධ වීම

RAT යන නමින් අපි කෙටියෙන් හඳුන්වන්නේ Remote Administration Tool නම් වන මෘදුකාංගයි. මෙම මෘදුකාංග පරිගණක ජාලයක ඇති පරිගණක දුරස්ථව පාලනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. එමෙන්ම අවශ්‍ය නම් දුරස්ථව ඇති පරිගණකය භාවිතා කරන පරිශීලකයාගේ සියලුම කටයුතු නිරීක්ෂණය කිරීමටද හැකියාව පවතිනවා. බොහෝ විට විශාල සමාගම් මෙම මෘදුකාංග තම සමාගමේ සේවකයින්ගේ පරිගණක කටයුතු නිරීක්ෂණයට හා දෝශ නිරාකරණයට උපයෝගී කර ගන්නවා. මෙමගින් ලබා ගත හැකි ප්‍රයෝජන රාශියක් තිබෙනවා.
  • දුරස්ථව පරිගණක දෝශ නිරාකරණය කිරීමට හැකි වීම
  • පරීශීලකයන්ගේ පරිගණක භාවිතය සජීවී ලෙස නිරීක්ෂණය (Real Time Monitoring) කළ හැකි වීම
  • දෝශ නිරාකරණ කණ්ඩායම් කේන්ද්‍රගත කිරීමට හැකිවීම (Centralization of IT Help)
  • දෝශ නිරාකරණ කණ්ඩායම් කේන්ද්‍රගත කිරීම මගින් අවම භෞතික හා මානව සම්පත් ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගත හැකි වීම
මෙම මාදිලියේ මෘදුකාංග වලින් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ Radmin සහ Team Viewer යන මෘදුකාංගයි. Local Area Network තුලදී බොහෝ විට Radmin මෘදුකාංගය භාවිතා කරන අතර අන්තර්ජාලය හරහා දුරස්ථ පරිගණකයකට සම්බන්ධ වීමේදී Team Viewer මෘදුකාංගය භාවිතා කරනවා. එයට හේතු වන්නේ Team Viewer මෘදුකාංගය මගින් ඔවුන්ගේ සර්වරයක් හරහා දුරස්ථ පරිගණක අතර සම්බන්ධතාවය ඇති කරන නිසා අන්තර්ජාලය හරහා සම්බන්ධ වීම පහසු කිරීම නිසයි. අප රටේ බොහෝ දෙනෙක්ට අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී ලැබෙන IP ලිපින Dynamic IP නම් වේ.එනම් සම්බන්ධ වන වාරයක් පාසා වෙනස් වන IP ලිපින වේ. එම නිසා අන්තර්ජාලය හරහා දුරස්ථව සම්බන්ධ වීම අසීරු වේ. නමුත් Team Viewer හරහා සෘජු සම්බන්ධතාවයක් (Direct Connection) ඇති කරන බැවින් වඩාත් පහසුවෙන් හා ස්ථාවර ලෙස සම්බන්ධ විය හැක.

ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ මෘදුකාංග භාවිතා කරලා වෙන කෙනෙක්ගේ පරිගණකයක් Hack කරන්න පුලුවන් නේද කියලා. එහෙම කරන්න පුලුවන් මෘදුකාංග තියෙනවා. නමුත් මම කලින් සඳහන් කරපු මෘදුකාංග ස්ථාපනය කරන්න සහ අදාල සැකසුම් සකස් කරන්න පරිපාලක බලතල (Administrator privileges) තියෙන්න ඕනි. ඉතින් Administrator මුරපදය තමාට පමණක් සීමා කර ගැනීම තමාගේ පරිගණකයේ ආරක්ෂාවට කොතරම් වැදගත්ද

Radmin මෘදුකාංගය භාවිතා කරන්න ඕනි නම් මෙතනින් ගිහින් ගන්න. දවස් 30ක අත්හදා බැලීමේ සංස්කරණයක් තියෙනවා. Team Viewer මෘදුකාංගය ඕනි නම් මෙතනින් ගන්න. මේ මෘදුකාංගයේ වාණිජ සහ නොමිලේ ලබා දෙන සංස්කරණ තියෙනවා. අවශ්‍ය නම් ස්ථාපනය නොකර භාවිතා කරන්න පුලුවන්.

Thursday, May 3, 2012

මූණු පොතේ යතුර සාක්කුවේ දාගෙන යමු

මූණු පොතේ ආරක්ෂාව වැදගත් වෙන හේතු ගැනත්, මුරපද සොරා ගත හැකි ක්‍රම ගැනත්, ඒ සඳහා පිලිපදින්න ඕනි සරල ආරක්ෂක උපක්‍රම ගැනත් මම මීට කලින් ලිපියකදි කථා කලා. ඕනි නම් ඒ ලිපිය මෙතනින් බලලම එන්න. ඉතින් මේ මූණු පොත ගොඩක් අය භාවිතා කරන්න පටන් ගත්තම මේ සම්බන්ධ අක්‍රමිකතා වර්ධනය වූ නිසා එම වෙබ් අඩවිය මගින්ම මේ අක්‍රමිකතා වලක්වන්න විවිධ ආරක්ෂක උපක්‍රම හඳුන්වා දුන්නා. එහෙම හඳුන්වා දුන් ඉතාමත් වැදගත් විකල්පයක් තමයි Login Approvals කියලා හඳුන්වන්නේ.

මෙම විකල්පය මඟින් අපට පුලුවන් අපි මූණු පොතට ඇතුල් වන සෑම අවස්ථාවකදීම අපගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන සේ සකසන්න. එම කෙටි පණිවිඩයෙන් ලබා දෙන රහස්‍ය අංකය ඇතුලත් කිරීමෙන් පමණයි ඔබේ ගිණුමට ඇතුල් විය හැකි වන්නේ. එම නිසා වෙනත් අයෙක් අයුතු ක්‍රමයකින් ඔබේ මුරපදය ලබා ගත්තත් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන රහස්‍ය අංකය නොමැතිව ඔවුන්ට ඔබේ ගිණුම පරිහරණය කරන්න කිසිසේත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේ Login Approvals ඔබේ ගිණුමේ සක්‍රීය කර ගන්නේ කියලා.

මුලින්ම ඔබේ ගිණුමේ Account Settings වලට පිවිසෙන්න. පහත රූපය බලන්න.


එවිට ලැබෙන පිටුවේ දකුනු පස ඇති මෙනුවෙන් Security යන විකල්පය තෝරන්න.


එම පිටුවේ Login Approvals යන්න තෝරා මීලඟ පියවරයන් ඉදිරියට යන්න. ඔබේ දුරකථන අංකයට ලැබෙන රහස්‍ය අංකය පහත රූපයේ ඇති හිස් කොටුව තුලට ඇතුලත් කරන්න.

ඔබේ සැකසුම් සාර්ථක නම් පහත ආකාරයේ සංවාද කොටුවක් ඔබට දක්නට ලැබේවි.

ඒ වගේම Security Settings මෙනුවේදී පහත ආකාරයට දකින්න ලැබේවි.


වැදගත්: ඔබේ වෙබ් බ්‍රව්සරයේ History සහ Cookies ස්වයංක්‍රීයව ඉවත් වීමට සැකසුම් සකස් කර ඇති නම් මෙම විකල්පය සක්‍රීය කිරීමේදී දෝෂ පණිවිඩයක් දිස් විය හැක. එසේ උවහොත් එම සැකසුම් ඉවත් කර හෝ පෙර නිමි සැකසුම් වලට පරිවර්ථනය කර මෙම පහසුකම සක්‍රීය කර ගන්න.

Monday, April 23, 2012

ඔබේ ජංගම දුරකථනයට සම්පූර්ණ ආරක්ෂාව
NetQin Anti Virus




අද මං කථා කරන්න හිතුවේ ජංගම දුරකථන හිමියන්ට වැදගත් වෙයි කියලා හිතන මාතෘකාවක්. ගොඩ දෙනෙක් තමන්ගේ ජංගම දුරකථනයට ප්‍රති වෛරස මෘදුකාංග ස්ථාපනය කර ගත්තත් ඒ වැඩසටහන් වලින් නිසි ප්‍රයෝජනය ලබා ගන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ මෘදුකාංග වලින් නිසි ප්‍රයෝජනය ලබා ගන්න නම් ඒ වැඩසටහනින් ලබා දෙන පහසුකම්, සේවා ගැන වැටහීමක් වගේම ඒ පහසුකම් ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන දේ ගැන යම් දැණුමක් තිබිය යුතු වීම. Android සහ Symbian මෙහෙයුම් පද්ධති වලින් පණ ගැන්වුණු ජංගම දුරකථන හිමියන් මේ වන විට බහුලව භාවිතා කරන ප්‍රති වෛරස මෘදුකාංගය තමයි NetQin Anti Virus. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් කරන්නේ එම මෘදුකාංගය ස්ථාපනය කිරීම පමණයි. එහි ඇති විශේෂ පහසුකම් සක්‍රීය කිරීමක් බොහෝ පරිශීලකයන් සිදු කරන්නේ නෑ. අපි බලමු මේ මෘදුකාංගයේ ඇති පහසුකම් මොනවද කියලා.

පහත රූපයේ දැක්වෙන්නේ Symbian මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනයක ස්ථාපනය කරන ලද NetQin Anti Virus මෘදුකාංගයේ ප්‍රධාන අතුරු මුහුණතයි.


මෙහි මුලින්ම ඇත්තේ Security Review යන විකල්පයයි. මෙහිදී සිදු කෙරෙන්නේ ඔවුන් විසින් පෙර නිර්ණය කරන ලද සම්මත තත්වයන් හා සසඳමින් ඔබේ ජංගම දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය හා කාර්යක්ෂමතාවයට යම් ලකුණු ලබා දීමක්. එහිදී ඔබේ ජංගම දුරකථනයට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු නම් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා යම් ඉඟි ලබා දෙනවා.

මීලඟ විකල්පය වන්නේ Anti Virus. මෙහිදී ඔබට සම්පූර්ණයෙන්ම හෝ ඔබට අවශ්‍ය ලෙස ඔබේ ජංගම දුරකථනය වෛරස් හා වෙනත් අනවශ්‍ය වැඩසටහන් සඳහා පරීක්ෂා කළ හැකියි. ඔබේ ජංගම දුරකථනයේ දැනට යාවත්කාල වී ඇති වෛරස් දත්ත ගබඩාව පරීක්ෂා කිරීමට හා අවශ්‍ය නම් දැනට පවතින නවතම වෛරස් දත්ත ගබඩාවට යාවත්කාල වීමටත් ඔබට මෙමඟින් පුලුවන්. එමෙන්ම ඔබේ ජංගම දුරකථනයට ඇතුල් වූ වෛරස් පිළිබඳව සටහන්ද (Threat Log) මෙහි ඇතුලත්.

මීලඟට ඇත්තේ Network Firewall. පරිශීලකයන් බොහෝ විට භාවිතා නොකලත් මෙම අග්නි බාධකය ඉතාමත් ප්‍රභල සහ වඩාත් පරිශීලක හිතෛෂී ලෙස නිපදවා තිබෙනවා. ජංගම දුරකථනයේ ස්ථාපනය කර ඇති මෘදුකාංග Trusted Applications සහ Untrusted Applications ලෙස පරිශීලකයාට අවශ්‍ය පරිදි වර්ග කල හැකි අතර Trusted Applications අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ. නමුත් පරිශීලකයා විසින් Untrusted Applications ලෙස නම් කර ඇති මෘදුකාංග වලට අන්තර්ජාලය හා සම්බන්ධ වීමට මෙම අග්නි බාධකය කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. එමෙන්ම පරිශීලකයා විසින් Trusted Applications හෝ Untrusted Applications ලෙස නම් කර නොමැති මෘදුකාංග අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමේදී මෙම අග්නි බාධකය ඒ පිලිබඳව පරිශීලකයා දැනුවත් කරන අතර නිශ්චිත කාලයක් ඇතුලත පරිශීලකයා එම සම්බන්ධතාවයට අවසර ලබා නොදුනහොත් ස්වයංක්‍රීයවම එම සම්බන්ධතාවය විසන්ධි වෙනවා. මෙහි ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයන් පිලිබඳ සටහන් (Connection Log) ඇතුලත්.

මීලඟට ඇත්තේ Anti Lost පහසුකම. Anti Theft ලෙස හඳුන්වන්නේද එයයි. මා ඒ පිලිබඳව මීට පෙර ලිපියක් පල කලා. එම ලිපිය බැලීමට මෙතනින් යන්න.

මීලඟට ඇත්තේ System Manager විකල්පයයි. මෙම විකල්පය යටතේ ඔබට ලබා ගත හැකි එක් පහසුකමක් වන්නේ ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ඇති මෘදුකාංග පිලිබඳව සෘජුවම අන්තර්ජාලය හරහා තක්සේරු (Online Ratings) ලබා ගැනීමට හැකි වීමයි. ඔබේ දුරකථන නාමාවලිය ඔබේ මෙමරි චිපයට හෝ NetQin සර්වරයට උපස්ථ (Backup) කිරීමටද මෙමගින් ඉඩ ලබා දෙනවා.

Pro Member Zone යනු NetQin Anti Virus මෘදුකාංගය මිලදී ගන්නා අයට පමණක් ලබා දෙන පහසුකම් ඇතුලත් විකල්පයයි. නමුත් මෙම විකල්පය නොමිලේ භාවිතා කරන්නන්ටද තවමත් භාවිතා කල හැකියි. මෙහි Anti Lost පහසුකම, ඔබේ දුරකථන සංවාදයන්ට රහසින් සවන් දීම වැලැක්වීමේ පහසුකම(Anti-eavesdropping), අන්තර්ජාල බැංකු සේවයේදී ඔබේ රහසිගත තොරතුරු ආරක්ෂා කිරීමේ පහසුකම (Account Protection) වැනි ඉතා වටිනා පහසුකම් ඇතුලත්.

NetQin Anti Virus බාන්න ඕනි නම් මෙතනින් යන්න. NetQin සමාගමේ තවත් වටිනා කියන ජංගම දුරකථන මෘදුකාංග තියෙනවා. ගිහින්ම බලන්නකෝ.

ඉතින් NetQin Anti Virus යනු ඔබේ ජංගම දුරකථනයට සම්පූර්ණ ආරක්ෂාව කීවොත් වැරදිද

Saturday, April 21, 2012

ඔබේ Facebook ගිණුම ආරක්ෂිතද

අපේ රටේ බොහොම ඉක්මණට ජනප්‍රිය උන සමාජ ජාල වෙබ් අඩවියක් තමයි facebook කියන්නේ. පරණ යාලුවන් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න, අලුත් යාලුවො හොයා ගන්න දැන් අපේ රටේ facebook එක්ක සම්බන්ධ නොවුන තරුණ තරුණියන් හොයා ගන්නත් බැරි තරම් මේක පැතිරිලා. ඒත් ඉතින් හැමදේකම හොඳ නරක දෙකම තියෙනවනේ. ඒ අතින් බලද්දි facebook කෙරුවාවත් දැලි පිහියෙන් කිරි කනවා වගේ බොහොම පරිස්සමෙන් කරන්න ඕනි වැඩක්. අපි facebook ගිණුමක් හදද්දි අපේ පුද්ගලික විස්තර ඇතුලත් කරන නිසා මේ විස්තර වැරදි පුද්ගලයෙක් අතට ගියොත් වෙන්න පුලුවන් හානිය ඉතාමත් ඉහලයි. ඒ නිසා තමයි අවධානමට පෙර සූදානම කියලා එහෙම දෙයක් වෙන්න කලින් පූර්ව සූදානමකින් සිටීම වැදගත් වෙන්නේ.

ඔබේ මුරපදය හොරකම් කරන්න පුලුවන්ද

ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ඇත්තටම facebook hack කරන්න පුලුවන්ද කියන දේ. මේකට පුලුවන් සහ බෑ කියන උත්තර දෙකම දෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ඔබ දැනුවත් නම් ඔබේ ගිණුම hack කරන්න බෑ, නමුත් ඔබ නොදැනුවත් නම් ඔබ සිතනවාටත් වඩා ඉක්මණින් ඔබේ ගිණුම hack වේවි.

Facebook ගිණුම් hack කරන්නේ කොහොමද

ඔබ facebook ගිණුමට ඇතුලත් වීම සඳහා ලබා දෙන මුරපදය MD5 නැමති කේතන ක්‍රමයක් මඟින් කේතනය වෙලා තමයි facebook සර්වරයේ ගබඩා වෙන්නේ. ඒ නිසා සර්වරය මඟින් ඔබේ මුරපදය ලබා ගැනීම කල නොහැකි තරම්. ඒ නිසා වෙන කෙනෙක්ට ඔබේ මුරපදය ලබා ගැනීමට අවශ්‍යය නම් එය ලබා ගත යුතු වන්නේ ඔබෙන්මයි. ඒ සඳහා බහුලව භාවිතා කරන ක්‍රම කිහිපයක් තියෙනවා.

  • Password Guessing
මෙහිදී කරන්නේ මුරපදය අනුමාන කිරීමක්. මේ සඳහා ගිණුම හිමි පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු සොයා ගෙන ඒ අනුව මුරපදය අනුමාන කරනවා.
  • Shoulder Surfing
මෙහි සරල අර්ථය වන්නේ උරහිසට උඩින් එබී බැලීම යන්නයි. එනම් යමෙකු තම ගිණුමට ඇතුල් වීම සඳහා මුරපදය ඇතුලත් කරන අවස්ථාවේදී එම මුරපදය සටහන් කර ගැනීමයි.
  • Social Engineering
මෙහිදී මුරපදය ලබා ගැනීමට අවශ්‍ය තැනැත්තා ගිණුම් හිමියා සමඟ සම්බන්ධ වී ප්‍රයෝගකාරී ලෙස මුරපදය ඉල්ලා සිටිනවා.
උදාහරණ: ඔබේ facebook ගිණුම අයුතු පරිහරණයක් සිදු වී ඇති නිසා සතියක් ඇතුලත ඔබේ email ලිපිනය සහ මුරපදය දන්වා මෙම email ලිපිනයට email ලිපියක් එවන මෙන් දන්වා facebook ආයතනය මඟින් එවන ලද ලෙස email ලිපියක් එවීම
  • Key Logger
Key Logger වලදී සිදු කරන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය කරන ලද වැඩසටහනක් මඟින් ඔබ යතුරු පුවරුව මඟින් ඇතුලත් කරන සියලුම දත්ත (මුරපද ඇතුලුව ) කලින් ලබා දෙන ලද email ලිපිනයකට හෝ වෙබ් සර්වරයකට ගෙන්වා ගැනීමයි. Key Logger වැඩසටහන් මඟින් නියමිත කාල පරාස තුලදී ලබා ගන්නා ඔබේ පරිගණකයේ Screenshot උවද අදාල ලිපිනය වෙත යැවීමේ පහසුකම් පවතී.
  • Phishing
මෙහිදී සිදු වන්නේ facebook ගිණුමට ඇතුල් වන වෙබ් පිටුව ලෙසම පෙනෙන ආකාරයට සාදන ලද වෙනත් වෙබ් පිටුවකට ඔබව ගෙන්වා ගෙන එහි ඔබේ email ලිපිනය සහ මුරපදය ඇතුලත් කිරීමට සැලැස්වීමයි. ඔබ එම වෙබ් පිටුවේ ඔබේ ගිණුමේ තොරතුරු සඳහන් කල විට එම වෙබ් පිටුව නිර්මාණය කල තැනැත්තාට එම තොරතුරු ලබා ගත හැක.

අවධානමට පෙර සූදානම

ඉහත සඳහන් කරපු ක්‍රම තමයි බොහෝ වෙලාවට ඔබේ මුරපදය හොරකම් කරන්න යොදා ගන්නේ. නමුත් මේ උපක්‍රම වලින් බේරෙන්න හරිම ලේසියි. වැදගත් වෙන්නේ ඔබ දැනුවත් වීම විතරයි. දැන් බලමු මොනවද අපිට තියෙන පූර්වෝපායන් කියලා.

ඔබේ පුද්ගලික තොරතුරු ඔබේ ගිණුමට ඇතුලත් කරන්නෙපා. එහෙම ඇතුලත් කලත් ඔබට විශ්වාසම අයට පමණක් ඒවා බලන්න පුලුවන් විදියට privacy settings හදන්න. ඔබේ ගිණුමේ මුරපදය වෙන කෙනෙක්ට දෙන්නෙපා. අත්‍යවශ්‍යම හේතුවක් නිසා එහෙම දෙන්න උනොත් අනිවාර්යෙන්ම ඒ මුරපදය මාරු කරන්න. Chat එකේදි හෝ email මඟින් නාඳුණන කෙනෙක් ඔබට link එකක් එව්වොත් ඒ මත click කරන්නෙපා. ඔබ facebook වල යම් application එකක් භාවිතා කරන්න යද්දී නැවත ඔබේ මුරපදය ඉල්ලා සිටිනවා නම් එතනට ඔබේ මුරපදය ලබා දෙන්නෙපා. Internet cafe වලදී තමන්ගේ facbook හෝ email ගිණුමට log නොවී ඉන්න පුලුවන් නම් වඩාත් හොඳයි. කිසි විටෙකත් ඔබේ පරිගණකයේ උවත් වෙබ් බ්‍රව්සරය තුල මුරපද save කර තැබීමෙන් වලකින්න. Facebook ටී ෂර්ට් ලබා දෙන ආදී දැන්වීම් click කරන්න එපා. ඔබ facebook වෙත log වීමට මුරපද ලබා දීමට පෙර ඔබ පිවිසී ඇති ලිපිනය නිවැරදිදැයි පරීක්ෂා කරන්න. ඒ වගේම හොඳ ෆයර්වෝලයක් සහිත ප්‍රති වෛරස මෘදුකාංගයක් භාවිතා කරන්න. හැකි හැම විටම ප්‍රති වෛරස මෘදුකාංගය යාවත්කාල කරන්න.

මේ හැම දෙයක්ම වගේ ඔයාලා යොදන මුරපදයත් ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙනවා. මුරපදයක් යොදද්දී මේ කරුණුත් සැලකිල්ලට ගන්න. Facebook සහ email ගිණුම් සඳහා එකම මුර පදය භාවිතා කරන්නෙපා. මුරපදය නිර්මාණය කරද්දී අවම වශයෙන් සංකේත හයක් යොදා ගන්න. කැපිටල් අකුරු, සිම්පල් අකුරු සහ *,$,@,# වගේ සංකේත වල සංකලනයකින් මුරපද හදා ගන්න. තමාගේ පුද්ගලික තොරතුරු ආශ්‍රයෙන් මුරපද හදා ගන්නෙපා. මතක තියා ගන්න අමාරු සංකීර්ණ මුරපදයක් තවත් කෙනෙක්ට අනුමාන කරන්නත් අපහසුයි කියනෙක මතක තියා ගන්න. මුරපදය හෝ මුරපදයට අදාල ඉඟි ලිඛිතව සටහන් කර තියා ගන්නෙපා.

ඔයාලගේ facebook ගිණුම ආරක්ෂා කර ගන්න මේ ඉඟි වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.

ජංගම දුරකථනයෙන් සිංහල බලන්නේ කොහොමද

අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය දැන් මූණුපොත යාවත්කාල කරන්නේ සිංහල භාෂාවෙන්. ඒත් ජංගම දුරකථනවලින් මූණුපොත භාවිතා කරන අයට තමන්ගේ ජංගම දුරකථනයේ සිංහල භාෂා සහය නැති නම් මේවා බලන්න බෑ. ඒත් ඔබ භාවිතා කරන්නේ Opera Mini web browser එක නම් ඒකට සරල විසඳුමක් තියෙනවා.

Opera Mini web browser එක විවෘත කරලා ඒකේ වෙබ් ලිපිනය ලියන තැන opera:config කියලා ලියලා ok කරන්න. පහල රූපය බලන්න.



එතකොට අපිට මෙනු එකක් එනවා පහත රූපයේ තියෙන විදියේ.


මේ මෙනු එකේ අන්තිමටම තියෙනවා Use bitmap fonts for complex scripts කියලා විකල්පයක්. ඒක No කියලා තමයි තියෙන්නේ. ඔයාලට තියෙන්නෙ ඒක Yes කියන එකට වෙනස් කරලා සුරැකුම් (save) කරන එක. ඊට පස්සේ සිංහල තියෙන වෙබ් පිටුවකට ගිහින් බලන්නකෝ. පොඩි පොඩි දුර්වලකම් තිබුනත් අපිට ඕනි වැඩේ කර ගන්න ඒ හොඳටම ඇති.

Friday, April 20, 2012

නුඹට

පුන් පොහෝ දින ලඟයි
මගෙ හිතට අමාවක
සඳ සාවි කොහේදැයි
මගේ සිත ඉකි ගසයි

නුඹේ රුව පෙනෙන තෙක්
දෙනෙත් බැල්මන් යොමයි
නුඹෙ සුවඳ දැනෙන මුත්
නුඹ මගෙන් බෝ දුරයි

කඳුලු බිඳු සඟවගෙන
නුඹ මසිත පාරවයි
වර්සාව නවතන්න
බැරි තරම් හිත බරයි

අම්මේ

තෙරක් නොපෙනෙන
විශ්ව දැනුමේ
අඳුරු අහුමුලු සොයා යද්දී
අනෙක බාධා
කම්කටොලු මැද
නැඟී සිටිනට
දිරිය දුනි ඔබ

ජීවිතේ සුව
සොයා යද්දී
ලැබුනු ගැරහුම්
කඳුලු මල් මැද
පියවරක් ඉදිරියට
තබනට
දිරිය දුන්නේ
නුඹේ සෙනෙහස

මොනවද මේ Virtual PC


Networking ඉගෙන ගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි තනි computer එකකින් කොහොමද network හදන්නේ කියලා. ඒකට තියෙන හොඳම විසඳුම තමයි Microsoft Virtual PC කියන්නේ. මේකෙදි අපිට විවිධ Operating Systems, එහෙම නැත්තන් අපේ බාසාවෙන් කියනවනම් OS සාමානය්‍ය විදියට install කරගන්න පුලුවන්. ඒ වගේම අපි එදිනෙදා පාවිච්චි කරන software අපි හදන මේ virtual computers වල install කරලා සාමානය්‍ය විදියට වැඩ කරන්න පුලුවන්. ඒ වගේම මේකේ තියෙන හොඳම දේ තමයි අපිට මේ හදන virtual computers අපිට ඕනි විදියකට network කරගන්න පුලුවන්. ඉතින් තනියම network ඉගෙන ගන්න කෙනෙකුට උනත් මේ software එක ගොඩක් වටිනවා. තව දෙයක් කියන්න තියෙනවා, ඔයාලා Windows XP වලදි පාවිච්චි කරපු සමහර මෘදුකාංග, Windows 7 වලදි වැඩ කරන්නේ නැත්තන් මේ විදියට virtual PC වලින් ඒ software එක්ක වැඩ කරන්න පුලුවන්. එතකොට ඉතින් තමන්ගේ computer එකේම OS දෙකක් install කරගෙන දඟලන්න ඕනිත් නෑනේ. ඕනි නම් මේ virtual computers වල ඔයාලගේ data හංගලා තියන්නත් පුලුවන්. හරිම simple plan එකක්. මේ software එක Microsoft සමාගමෙන් නොමිලේ ලබාගන්න පුලුවන්.
http://www.microsoft.com/windows/virtual-pc/

Professional විදියට network ඉගෙන ගන්න සහ වැඩ කරන අයට ගැලපෙන මෘදුකාංගයක් තමයි vmware කියන්නේ. මේක නම් මං කලින් කීව Microsoft virtual PC වලට වඩා ටිකක් විතර අමාරුයි. ඒත් ඉතින් හිත ඇත්නම් පත කුඩාද කියනවනේ. ඒකත් try කරලම බලන්නකො. ඒ වගේම vmware වල තියෙන තවත් වාසියක් තමයි අපි අපේ Computer එකට plug කරන USB උපකරණ vmware වලදි අපි හදා ගත්ත virtual computer එකේ භාවිතා කරන්න හැකි වීම. මේ විදියට අපිට USB dongle එකක් භාවිතා කරලා virtual computer එක හරහා internet යන්න උනත් පුලුවන්. මේ මෘදුකාංගය නම් නොමිලේ දෙන එකක් නෙමෙයි.

vmware ගන්න මෙතනින් යන්න.
http://www.vmware.com/

Thursday, April 19, 2012

Smartphone එක හොරු ගනියි කියලා බයද???

ජංගම දුරකථන එහෙම නැත්තන් mobile phones කියන්නේ අද කාලේ වෙනකොට හුඟක් ජනප්‍රිය විලාසිතාවක්. මේ විලාසිතාවට වයස් භේදයක් නැති තරම්. අපේ තරුණ පරම්පරාව නම් මේ ජංගම දුරකථන වලට ලොකු මුදලක් වියදම් කරන්න ලෑස්තියි. නමුත් මේ සමහර අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ලොකු ගණන් දීලා ජංගම දුරකථන මිලදී ගත්තට ඒවා හොරකම් කලොත් එහෙම ඒ සේරම මුදල් අපතෙ නේද කියලා. ඔන්න ඒ අයට සුභ ආරන්චියක් තියෙනවා. ඒ තමයි මීට පස්සේ එහෙම ප්‍රශ්ණ ගැන බය වෙන්න ඕනි නෑ. මේ ගැන දන්න අය මෙතන ඇති. නොදන්න අයට දැන ගන්න තමයි මම මේ විස්තරේ දාන්නේ. ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න යොදා ගන්න මෘදුකාංගයක් තමයි anti theft කියන්නේ.අපේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න මේ මෘදුකාංගයෙන් පහසුකම් ගොඩක් ලබා දීල තියෙනවා.
1.මේ මෘදුකාංගය මගින් අපිට ජංගම දුරකතනයේ යොදා තිබෙන රහස් අංකයට අමතරව තවත් රහස් අංකයක් යොදන්න පුලුවන්.
2.දුරකතනයේ SIM පත මාරු කල විට අපි ලබා දෙන දුරකථන අංක වලට SMS පණිවිඩ ලැබෙන සේ සකසන්න පුලුවන්.
3.වෙනත් දුරකතනයකින් යවන SMS පණිවිඩයක් මාර්ගයෙන් අපේ දුරකථනයේ අඞංගු SMS පණිවිඩ, දුරකතන නාමාවලිය සහ වෙනත් පුද්ගලික දත්ත මකා දැමිය හැකියි.
4.අනවශ්‍ය ඇමතුම් හා SMS පණිවිඩ පෙරා හැරීමට (call & sms filter) හැකියි.
5.අපේ දුරකථනය තිබෙන ස්ථානය ලුහු බැඳීමට (tracking) හැකියි.

මේ වගේ අපිට වටින කියන හුඟක් පහසුකම් වලින් මේ මෘදුකාංගය සමන්විත වෙනවා. Fsecure සමාගම සහ Kaspersky සමාගම විසින් නිකුත් කරන මේ වර්ගයේ මෘදුකාංග තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ.
Fsecure සමාගම විසින් නිකුත් කරන මේ මෘදුකාංගය නොමිලේ භාගත කරන්න පුලුවන්.
http://www.f-secure.com/it/web/home_global/protection/anti-theft-for-mobile/overview

Kaspersky සමාගම නිකුත් කරන මේ මෘදුකාංගයට නම් මුදල් ගෙවන්න ඕනි.කැමති නම් trial එකක් ගිහින් බලන්නකො.
http://www.kaspersky.com/kaspersky_mobile_security
තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ මෘදුකාංග ස්ථාපනය (install) කරද්දි අභ්‍යන්තර මතකයට (internal memory) තමයි ස්ථාපනය කරන්න ඕනි.
වැඩේ ඉවරයි වගේ නේද? ඒත් ඉතින් ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. මම මෙච්චර වෙලා කතා කලේ තාක්ෂණික පැත්ත ගැනනේ. දැන් මම කියන්න යන්නේ ජංගම දුරකථන ආරක්ෂාවේ නීතිමය පැත්ත ගැන විස්තර ටිකක්. අපි ගොඩක් දෙනෙක් දන්න විදියට මේ සම්බන්ධව අපේ රටේ ක්‍රියාත්මක වෙන ආයතනය තමයි ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව. ඒ ආයතනය කෙටියෙන් හඳුන්වනවා TRCSL කියලා.
ජංගම දුරකථනයක් නැති උනොත් අපි මුලින්ම කරන්න ඕනි ලඟම පොලිස් ස්ථානයේ ඒ ගැන පැමිණිල්ලක් සටහන් කරන එක. ඊට පස්සේ ඒ පැමිණිල්ලේ ඡායා පිටපතක් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ගිහින් බාර දෙන්න ඕනි. නැති උන ජංගම දුරකථනයේ IMEI අංකය තියෙනවනම් ගොඩක් හොඳයි. එහෙම නැත්තන් ඒ ජංගම දුරකථනයේ භාවිතා කරපු SIM පතක දුරකථන අංකයක් තිබුනත් ප්‍රමාණවත්. එතකොට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අපේ නැති උන ජංගම දුරකථනය හොයා දීමේ වගකීම භාර ගන්නවා. ඒ ජංගම දුරකථනය හොයා ගත්තම අපට දැනුම් දීමක් කරනවා.
වැඩි විස්තර ඕනි නම්
http://www.trc.gov.lk/
0112676993
0112676994
0112662215
0112662216
0112662222
0114514067
0115376159

පිලිගනිමි

අම්බරේ දිදුලනා
දහසකුත් තරු අතර
තවද තනි තරුවක්ව
දිදුලන්න නොහැක මට

එකට බැඳි පොකුරක්ව
ජීවිතය දිනන්නට
තනිව දිදුලන තරුව
නොවන්නට ගනිමි වෙර