Saturday, April 21, 2012

ඔබේ Facebook ගිණුම ආරක්ෂිතද

අපේ රටේ බොහොම ඉක්මණට ජනප්‍රිය උන සමාජ ජාල වෙබ් අඩවියක් තමයි facebook කියන්නේ. පරණ යාලුවන් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න, අලුත් යාලුවො හොයා ගන්න දැන් අපේ රටේ facebook එක්ක සම්බන්ධ නොවුන තරුණ තරුණියන් හොයා ගන්නත් බැරි තරම් මේක පැතිරිලා. ඒත් ඉතින් හැමදේකම හොඳ නරක දෙකම තියෙනවනේ. ඒ අතින් බලද්දි facebook කෙරුවාවත් දැලි පිහියෙන් කිරි කනවා වගේ බොහොම පරිස්සමෙන් කරන්න ඕනි වැඩක්. අපි facebook ගිණුමක් හදද්දි අපේ පුද්ගලික විස්තර ඇතුලත් කරන නිසා මේ විස්තර වැරදි පුද්ගලයෙක් අතට ගියොත් වෙන්න පුලුවන් හානිය ඉතාමත් ඉහලයි. ඒ නිසා තමයි අවධානමට පෙර සූදානම කියලා එහෙම දෙයක් වෙන්න කලින් පූර්ව සූදානමකින් සිටීම වැදගත් වෙන්නේ.

ඔබේ මුරපදය හොරකම් කරන්න පුලුවන්ද

ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ඇත්තටම facebook hack කරන්න පුලුවන්ද කියන දේ. මේකට පුලුවන් සහ බෑ කියන උත්තර දෙකම දෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ඔබ දැනුවත් නම් ඔබේ ගිණුම hack කරන්න බෑ, නමුත් ඔබ නොදැනුවත් නම් ඔබ සිතනවාටත් වඩා ඉක්මණින් ඔබේ ගිණුම hack වේවි.

Facebook ගිණුම් hack කරන්නේ කොහොමද

ඔබ facebook ගිණුමට ඇතුලත් වීම සඳහා ලබා දෙන මුරපදය MD5 නැමති කේතන ක්‍රමයක් මඟින් කේතනය වෙලා තමයි facebook සර්වරයේ ගබඩා වෙන්නේ. ඒ නිසා සර්වරය මඟින් ඔබේ මුරපදය ලබා ගැනීම කල නොහැකි තරම්. ඒ නිසා වෙන කෙනෙක්ට ඔබේ මුරපදය ලබා ගැනීමට අවශ්‍යය නම් එය ලබා ගත යුතු වන්නේ ඔබෙන්මයි. ඒ සඳහා බහුලව භාවිතා කරන ක්‍රම කිහිපයක් තියෙනවා.

  • Password Guessing
මෙහිදී කරන්නේ මුරපදය අනුමාන කිරීමක්. මේ සඳහා ගිණුම හිමි පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු සොයා ගෙන ඒ අනුව මුරපදය අනුමාන කරනවා.
  • Shoulder Surfing
මෙහි සරල අර්ථය වන්නේ උරහිසට උඩින් එබී බැලීම යන්නයි. එනම් යමෙකු තම ගිණුමට ඇතුල් වීම සඳහා මුරපදය ඇතුලත් කරන අවස්ථාවේදී එම මුරපදය සටහන් කර ගැනීමයි.
  • Social Engineering
මෙහිදී මුරපදය ලබා ගැනීමට අවශ්‍ය තැනැත්තා ගිණුම් හිමියා සමඟ සම්බන්ධ වී ප්‍රයෝගකාරී ලෙස මුරපදය ඉල්ලා සිටිනවා.
උදාහරණ: ඔබේ facebook ගිණුම අයුතු පරිහරණයක් සිදු වී ඇති නිසා සතියක් ඇතුලත ඔබේ email ලිපිනය සහ මුරපදය දන්වා මෙම email ලිපිනයට email ලිපියක් එවන මෙන් දන්වා facebook ආයතනය මඟින් එවන ලද ලෙස email ලිපියක් එවීම
  • Key Logger
Key Logger වලදී සිදු කරන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය කරන ලද වැඩසටහනක් මඟින් ඔබ යතුරු පුවරුව මඟින් ඇතුලත් කරන සියලුම දත්ත (මුරපද ඇතුලුව ) කලින් ලබා දෙන ලද email ලිපිනයකට හෝ වෙබ් සර්වරයකට ගෙන්වා ගැනීමයි. Key Logger වැඩසටහන් මඟින් නියමිත කාල පරාස තුලදී ලබා ගන්නා ඔබේ පරිගණකයේ Screenshot උවද අදාල ලිපිනය වෙත යැවීමේ පහසුකම් පවතී.
  • Phishing
මෙහිදී සිදු වන්නේ facebook ගිණුමට ඇතුල් වන වෙබ් පිටුව ලෙසම පෙනෙන ආකාරයට සාදන ලද වෙනත් වෙබ් පිටුවකට ඔබව ගෙන්වා ගෙන එහි ඔබේ email ලිපිනය සහ මුරපදය ඇතුලත් කිරීමට සැලැස්වීමයි. ඔබ එම වෙබ් පිටුවේ ඔබේ ගිණුමේ තොරතුරු සඳහන් කල විට එම වෙබ් පිටුව නිර්මාණය කල තැනැත්තාට එම තොරතුරු ලබා ගත හැක.

අවධානමට පෙර සූදානම

ඉහත සඳහන් කරපු ක්‍රම තමයි බොහෝ වෙලාවට ඔබේ මුරපදය හොරකම් කරන්න යොදා ගන්නේ. නමුත් මේ උපක්‍රම වලින් බේරෙන්න හරිම ලේසියි. වැදගත් වෙන්නේ ඔබ දැනුවත් වීම විතරයි. දැන් බලමු මොනවද අපිට තියෙන පූර්වෝපායන් කියලා.

ඔබේ පුද්ගලික තොරතුරු ඔබේ ගිණුමට ඇතුලත් කරන්නෙපා. එහෙම ඇතුලත් කලත් ඔබට විශ්වාසම අයට පමණක් ඒවා බලන්න පුලුවන් විදියට privacy settings හදන්න. ඔබේ ගිණුමේ මුරපදය වෙන කෙනෙක්ට දෙන්නෙපා. අත්‍යවශ්‍යම හේතුවක් නිසා එහෙම දෙන්න උනොත් අනිවාර්යෙන්ම ඒ මුරපදය මාරු කරන්න. Chat එකේදි හෝ email මඟින් නාඳුණන කෙනෙක් ඔබට link එකක් එව්වොත් ඒ මත click කරන්නෙපා. ඔබ facebook වල යම් application එකක් භාවිතා කරන්න යද්දී නැවත ඔබේ මුරපදය ඉල්ලා සිටිනවා නම් එතනට ඔබේ මුරපදය ලබා දෙන්නෙපා. Internet cafe වලදී තමන්ගේ facbook හෝ email ගිණුමට log නොවී ඉන්න පුලුවන් නම් වඩාත් හොඳයි. කිසි විටෙකත් ඔබේ පරිගණකයේ උවත් වෙබ් බ්‍රව්සරය තුල මුරපද save කර තැබීමෙන් වලකින්න. Facebook ටී ෂර්ට් ලබා දෙන ආදී දැන්වීම් click කරන්න එපා. ඔබ facebook වෙත log වීමට මුරපද ලබා දීමට පෙර ඔබ පිවිසී ඇති ලිපිනය නිවැරදිදැයි පරීක්ෂා කරන්න. ඒ වගේම හොඳ ෆයර්වෝලයක් සහිත ප්‍රති වෛරස මෘදුකාංගයක් භාවිතා කරන්න. හැකි හැම විටම ප්‍රති වෛරස මෘදුකාංගය යාවත්කාල කරන්න.

මේ හැම දෙයක්ම වගේ ඔයාලා යොදන මුරපදයත් ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙනවා. මුරපදයක් යොදද්දී මේ කරුණුත් සැලකිල්ලට ගන්න. Facebook සහ email ගිණුම් සඳහා එකම මුර පදය භාවිතා කරන්නෙපා. මුරපදය නිර්මාණය කරද්දී අවම වශයෙන් සංකේත හයක් යොදා ගන්න. කැපිටල් අකුරු, සිම්පල් අකුරු සහ *,$,@,# වගේ සංකේත වල සංකලනයකින් මුරපද හදා ගන්න. තමාගේ පුද්ගලික තොරතුරු ආශ්‍රයෙන් මුරපද හදා ගන්නෙපා. මතක තියා ගන්න අමාරු සංකීර්ණ මුරපදයක් තවත් කෙනෙක්ට අනුමාන කරන්නත් අපහසුයි කියනෙක මතක තියා ගන්න. මුරපදය හෝ මුරපදයට අදාල ඉඟි ලිඛිතව සටහන් කර තියා ගන්නෙපා.

ඔයාලගේ facebook ගිණුම ආරක්ෂා කර ගන්න මේ ඉඟි වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.

No comments:

Post a Comment